ජපානයේ ඇඳුම් පැළඳුම්
ජපානයේ සාම්ප්‍රදායික ඇඳුම වන්නේ කිමොනාවයි. ගැහැණු පිරිමි දෙපිරිසම මෙම කිමොනොව භාවිතා කරයි. විවාහක කාන්තාවන් තොමෙසොදෙ යනුවෙන් හඳුන්වනු ලබන කිමොනො වර්ගය අඳිනු ලබයි. එහි අත කොටස කෙටි වන අතර අවිවාහක කාන්තාවන් ෆුරිසොදෙ යනුවෙන් හඳුන්වනු ලබන අත කොටස දිග කිමොනො වර්ගයද අඳිනු ලබයි.
![]() |
| තොමෙසොදෙ |
![]() |
| ෆුරිසොදෙ |
පිරිමින් සාම්ප්‍රදායික කිමොනාව අදිනු ලබයි. කිමොනොව ඇඳ තබි යනුවෙන් හඳුන්වන මේස් කුට්ටම පැළඳ සෝරි (Zouri) යනුවෙන් හඳුන්වන පාවහන් පළඳිනු ලබයි. කිමොනොව ඇඳීමට අපහසු නිසා වර්තමානයේදී එය විශේෂ උත්සව අවස්ථාවන් වලදී පමණක් භාවිතයට ගනු ලබයි.
උදා : තේ සාද, විවාහ මංගල උත්සව
වර්තමානයේ කාර්ය බහුල ජීවන රටාවත් සමඟ ජපන් කාන්තාවන් බටහිර පන්නයේ ඇඳුම් පැළඳුම් අඳින අතර පිරිමි අයද කලිසම කමිසය වැනි බටහිර පන්නයේ ඇඳුම් වලට හුරු වී තිබේ.
නිවාස
ජපන් නිවාස වලට ඇතුළ් වන ස්ථානය "ගෙන්කන්" ලෙස හඳුන්වන අතර මෙම ස්ථානයේ පාවහන් ගළවා තබයි. නිවස තුළදී වෙනත් පාවහන් භාවිතා කරනු ලබයි. මෙම ස්ථානය පොළව මට්ටමට වඩා උසින් සාදනු ලබන්නේ පිටත පවතින දූවිලි සහ වෙනත් අපිරිසිදු දේ නිවස තුළට ඒම වැළැක්වීම සඳහායි.
ජපන් පන්නයේ කාමර
ජපන් නිවාස වල ජපන් පන්නයේ කාමර හා බටහිර පන්නයේ කාමර දක්නට ලැබේ. ජපන් පන්නයේ කාමර වලට තතමි එළනු ලැබේ. එකම කාමරය දහවල් කාලයේ ආහාර ගැනීමට හා වෙනත් වැඩ සඳහා යොදා ගන්නා අතර රාත්‍රියට ෆුතොන් එළා නිදන කාමරය ලෙස භාවිතයට ගනී.
ජපන් පන්නයේ කාමර වල එක් පැත්තකට වන්නට තොකොනොමා යන ස්ථානය දක්නට ලැබේ. එය පොළොව මට්ටමට වඩා උස වන අතර අමුත්තන් පැමිණි විට සංග්‍රහ කරනු ලබන්නේ තොකොනොමා අසළම ස්ථානයකි. එහි අලංකාරය සඳහා කකෙජිකු එල්ලා ඉකෙබනා මල් සැරසිල්ලක් එල්ලනු ලබයි. ජපන් පන්නයේ කාමර වල ගෘහ භාණ්ඩ එතරම් දක්නට නොලැබේ. ආහාර ගැනීම සඳහා කුඩා මේසයක් දක්නට ලැබේ ජපන් ජාතිකයින් බිම වාඩි වී ආහාර ගන්නා නිසා පුටු භාවිතා නොකරයි. ජපන් ජන්නයේ කාමර වල ෆුසුම නම් වූ දොරවල් භාවිතා කරන අතර ජනේල සඳහා ශෝජි නම් වූ කඩදාසි භාවිතා කරයි.
ඔෂිඉරෙ යනුවෙන් හඳුන්වනු ලබන බිත්ති වලටම සවි කරන ලද කබඩ් දක්නට ලැබේ.
ජපන් නිවාස වල තවත් විශේෂ අංගයක් ලෙස ඔෆුරො හැදින්වීමට හැකිය. ඔෆුරො යනු බටහිර රටවල් වල නාන බේසමකට සමාන විශාල බේසමකි. උණු ජලය පුරවා තිබෙන මෙම තටාකයට පවුලේ සියලු දෙනාම එකවර බසිනු ලැබේ. ජපන් ජාතිකයන් මෙය එදිනෙදා ජීවිතයේ කරනු ලබන අනිවාර්ය අංගයකි. රාත්‍රී ආහාරයට පෙර හෝ පසුව ඔෆුරො තුළට බැසීම අනිවාර්ය අංගයකි. මේ තුළින් දවස තුළ වූ වෙහෙස නිවා ගැනීමට හැකි වේ.
බටහිර පන්නයේ කාමර
බටහිර පන්නයේ කාමර වල බිමට කාපට් එළා තිබෙනු දක්නට ලැබේ. ගෘහ භාණ්ඩ වැඩි ප්‍රමාණයක් දක්නට ලැබේ. නමුත් බොහෝ විට බටහිර පන්නයේ කාමර වලද ෆුසුම දොරවල් හා ජනෙල් ශෝජි යන කඩදාසි වලින් සාදා ඇත.
සදෝ (සාම්ප්‍රදායික ජපන් තේ පැන් කලාව)
සදෝ යනු සාම්ප්‍රදායික ජපන් තේ පැන් කලාවයි. ඉතාමත් සරළ නමුත් සාම්ප්‍රදායික ලෙස පවත්වනු ලබයි. තේ පිළියෙළ කිරීමේ සිට පානය කිරීම දක්වා ඉතා අලංකාර පිළිවෙත් අනුගමනය කරයි. තේ පානෝත්සවයට ආරාධනා ලබන්නේ දස දෙනෙක් පමණ පිරිසකි. පැමිණෙන අමුත්තන්ට ඉතා හොඳින් සංග්‍රහ කිරීම සඳහා මෙලෙස සීමිත පිරිසකට ආරාධනා කරනු ලබයි. මච්චා නමින් හඳුන්වන තේ කොළ වලින් තේ පිළියෙළ කර ඉතා පැණි රස කැවිලි වර්ගයක් සමඟ තේ පානය කිරීමට දෙයි.
කිමොනො වලින් සැරසී තේ පානෝත්සවය සඳහාම විශේෂිත වූ භාණ්‍ඩ භාවිතා කර පවත්වනු ලබන නිසා ඉතාමත් අලංකාර හා පෞරාණික බවක් දක්නට ලැබේ. මෙය පැවැත්වීම සඳහා පිළිවෙත් උගන්වන ගුරුවරයෙක් යටතේ ප්‍රගුණ කළ යුතුය. දීර්ඝ කාලයක් තිස්සේ මනා ලෙස ප්‍රගුණ කිරීමෙන් අනතුරුව තේපානෝත්සවය සිදු කරයි. විසිතුරු භාණ්ඩ වලින් තොරව ඉතා සරළ ලෙස පවත් වනු ලබයි.












